October 22, 2026

ණය ගෙවා අවසන් කළත් යළි බැංකු ණයක් ගන්න බැරිද? CRIB නීති වෙනස් කරන්නැයි නාමල් ජනපති අනුරගෙන් ඉල්ලයි!

0
CRIB Loan Rejection News Graphic

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

2027 අයවැයෙන් ණයගැතියන්ට දෙවන අවස්ථාවක්! දින පහක් ඇතුළත CRIB වාර්තා යාවත්කාලීන කිරීමටත්, පැරණි ණය තොරතුරු රඳවා ගැනීමේ කාලය සමාලෝචනය කිරීමටත් යෝජනා පහක්!

අතීතයේ බැංකු ණය ගෙවීමේ අපහසුතාවන්ට මුහුණ දුන් නමුත් පසුව සියලු ණය වගකීම් සම්පූර්ණයෙන් පියවා අවසන් කළ පුද්ගලයන්ට නැවත බැංකු ණය ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීම සඳහා 2027 අයවැය මඟින් විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටී.

ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක් මඟින් නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ, අතීතයේ පැවති ණය ගෙවීමේ දුෂ්කරතා හේතුවෙන් ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) වාර්තාවල සටහන් වී ඇති තොරතුරු, අදාළ ණය සම්පූර්ණයෙන් පියවා අවසන් කිරීමෙන් පසුවද නව ණය පහසුකම් ලබාගැනීමට බාධාවක් විය හැකි බවයි.

විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, ස්වයං රැකියාවල නිරත පුද්ගලයන් සහ නව ව්‍යවසායකයන් මෙම තත්ත්වය හේතුවෙන් දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව ඔහු සිය ලිපියෙන් අවධාරණය කරයි.

ණය ගෙවා අවසන් කළත් CRIB වාර්තාවේ පැරණි තොරතුරු!

නාමල් රාජපක්ෂ මහතාගේ ලිපියේ සඳහන් වන පරිදි, ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය ආයතන නව ණය අයදුම්පත් සලකා බැලීමේදී ණය තොරතුරු කාර්යාංශයේ වාර්තා පරීක්ෂා කරනු ලබයි.එම ක්‍රියාවලියේදී අතීතයේ ණය වාරික ගෙවීම ප්‍රමාද වූ හෝ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ණය ගෙවීමට නොහැකි වූ පුද්ගලයන්ගේ පැරණි ණය ඉතිහාසයද සැලකිල්ලට ගැනේ.

එහෙත් මෙහි ඇති ප්‍රධාන ගැටලුව වන්නේ, අදාළ පුද්ගලයා පසුව සියලු ණය වගකීම් සම්පූර්ණයෙන් පියවා අවසන් කර තිබුණද, අතීතයේ පැවති ගෙවීම් ප්‍රමාදයන් නව ණය අනුමත කිරීමේදී අහිතකර ලෙස බලපෑ හැකි වීමයි.ණය තොරතුරු කාර්යාංශය කිසිදු පුද්ගලයෙකු නිල වශයෙන් ‘කළු ලැයිස්තුගත’ නොකරන බවද මන්ත්‍රීවරයා සිය ලිපියෙන් පිළිගෙන තිබේ.

කෙසේ වෙතත්, ණය ගෙවා අවසන් කිරීමෙන් පසුවද අතීත ණය තොරතුරු වසර පහක් දක්වා CRIB වාර්තාවේ පවතින බව ඔහු පෙන්වා දෙයි.

2027 අයවැයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා පහක්

ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියෙන් නාමල් රාජපක්ෂ නිශ්චිත ප්‍රතිසංස්කරණ පහක් යෝජනා කර තිබේ.

1. ණය පියවීමෙන් දින පහක් ඇතුළත CRIB වාර්තාව යාවත්කාලීන කිරීම

බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ලබාගත් ණයක් සම්පූර්ණයෙන් ගෙවා අවසන් කළ පසු වැඩ කරන දින පහක් ඇතුළත අදාළ තොරතුරු CRIB පද්ධතියේ යාවත්කාලීන කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බව මන්ත්‍රීවරයා යෝජනා කරයි.

2. ණය සම්පූර්ණයෙන් පියවා අවසන් බව පැහැදිලිව සඳහන් කිරීම

ණය ගෙවා අවසන් කළ පුද්ගලයන්ගේ වාර්තාවල එම ණය ‘Fully Settled/Closed’ යනුවෙන් පැහැදිලිව සටහන් කිරීමට පියවර ගත යුතු බවද ලිපියේ සඳහන් වේ.

මෙමඟින් ණය තවදුරටත් ගෙවීමට පවතින පුද්ගලයන් සහ සියලු ණය වගකීම් පියවා අවසන් කළ පුද්ගලයන් අතර වෙනස පැහැදිලිව හඳුනාගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

3. පැරණි ණය ඉතිහාසයට පමණක් සීමා නොවී වර්තමාන ආදායමද සලකා බැලීම

බැංකු විසින් ණය අනුමත කිරීමේදී අතීතයේ සිදුවූ ණය ගෙවීම් ප්‍රමාදයන් පමණක් නොව, අදාළ පුද්ගලයාගේ වර්තමාන ආදායම, ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය සහ ණය ආපසු ගෙවීමේ හැකියාවද ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගත යුතු බව නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඒ සඳහා බැංකු සහ මූල්‍ය ආයතන වෙත සුදුසු මාර්ගෝපදේශ නිකුත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටී.

4. CRIB වාර්තාවල පැරණි තොරතුරු රඳවා ගැනීමේ කාලසීමාව සමාලෝචනය කිරීම

ශ්‍රී ලංකාවේ ණය තොරතුරු වාර්තාවල අතීත ගෙවීම් පිළිබඳ තොරතුරු රඳවා තබාගන්නා කාලසීමාව ජාත්‍යන්තර භාවිතයන් සමඟ සසඳා 2027 වසර තුළ සමාලෝචනය කළ යුතු බව ලිපියේ සඳහන් වේ.

5. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ‘දෙවන අවස්ථා ණය වැඩසටහනක්’

අතීතයේ ආර්ථික අර්බුද හේතුවෙන් ව්‍යාපාර අඩපණ වූ නමුත් පසුව සියලු ණය වගකීම් පියවා අවසන් කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා විශේෂ ණය වැඩසටහනක් හඳුන්වා දීම නාමල් රාජපක්ෂ මහතාගේ තවත් යෝජනාවකි.

එය ‘Second Chance Business Loan Scheme’ හෙවත් ‘දෙවන අවස්ථා ව්‍යාපාරික ණය වැඩසටහන’ ලෙස නම් කිරීමටද ඔහු යෝජනා කර තිබේ.මෙමඟින් අතීතයේ ව්‍යාපාර අසාර්ථක වූ හෝ මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් ව්‍යාපාර නතර කිරීමට සිදුවූ පුද්ගලයන්ට නැවත ආර්ථික ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට අවස්ථාවක් සැලසීම අපේක්ෂාවයි.

මැලේසියාවේ ක්‍රමවේදය ශ්‍රී ලංකාවටත් ආදර්ශයක්?

නාමල් රාජපක්ෂ සිය ලිපියෙන් මැලේසියාවේ ක්‍රියාත්මක මධ්‍යම ණය තොරතුරු පද්ධතිය (Central Credit Reference Information System – CCRIS) පිළිබඳවද අවධානය යොමු කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ මැලේසියාවේ ණය පියවීමෙන් පසුව එම තත්ත්වය කඩිනමින් යාවත්කාලීන කෙරෙන අතර, ප්‍රධාන වශයෙන් පසුගිය මාස 12ක ණය ආපසු ගෙවීමේ ඉතිහාසය සලකා බලන බවයි.එවැනි ජාත්‍යන්තර ක්‍රමවේදයන් අධ්‍යයනය කර ශ්‍රී ලංකාවේ ණය තොරතුරු පද්ධතියද වඩාත් කාර්යක්ෂම කිරීමට හැකියාව පවතින බව ඔහුගේ යෝජනාවෙන් අවධාරණය කෙරේ.

ණය පියවූ පුද්ගලයාට නැවත අවස්ථාවක් ලැබිය යුතුයි – නාමල්

සිය ලිපිය අවසානයේ නාමල් රාජපක්ෂ අවධාරණය කරන්නේ අතීතයේ ණයක් ගෙවීමට නොහැකි වූ පුද්ගලයෙකු පසුව එම ණය සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇත්නම්, නැවත ආර්ථික ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබිය යුතු බවයි.

එවැනි අවස්ථාවක් ලබාදීම තනි පුද්ගලයෙකුගේ හෝ ව්‍යාපාරිකයෙකුගේ ආර්ථික අනාගතයට පමණක් නොව, සමස්ත රටේ ආර්ථික වර්ධනයටද වැදගත් වන බව ඔහු පෙන්වා දෙයි.ඒ අනුව ණය ගෙවා අවසන් කළ පුද්ගලයන්ට නැවත ණය ලබාගැනීමේදී පවතින බාධා අවම කිරීම සඳහා 2027 අයවැය මඟින් කඩිනම් සහ ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed