“ඤාණසාර හිමි සිරගත කළ නඩු තීන්දුව” සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට!
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
2016 ජනවාරි 25 වැනි දින හෝමාගම පහළ උසාවියේදී සිදුවූ සිද්ධියක් සම්පූර්ණයෙන් ම විකෘති කොට ඉහළ අධිකරණය හා ගරු විනිසුරුවරුන් ද නොමඟ යවමින් නොකළ වරදවල් 4 ක් ඔප්පු කොට අවාසනාවන්ත ලෙස පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර ස්වාමීන් වහන්සේට වසර 19 ක සිරදඬුවම් වසර 6 කින් ගෙවී යන පරිදි ලබා දී ඇත.
ඉතා දීර්ඝ කාලයක් තිස්සේ නොයෙක් දේශපාලකයෝ ද, රාජ්‍ය නොවන හා වෙනත් සංවිධාන ද, විවිධ අන්තවාදී මූලධර්මවාදී ආගමික කල්ලි හා විවිධ අංශයන්හි ඇතැම් නිලධාරීන් ද සමහර මුද්‍රිත, සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යන්හි ද අන්තර්ජාල වෙබ් අඩවිවල ද ඤාණසාර හිමියන් නොකළ බොහෝ දේවල් ප්‍රචාරය කරමින් උන්වහන්සේ පිළිබඳව වැරදි පූර්ව නිගමනවලට එළඹීමට අවශ්‍ය ඉඩකඩ හා වටපිටාව සකස් කොට අසත්‍ය ප්රවෘත්ති පළකොට, දේශපාලකයන්ගේ උවමනාවන්ට නීතිපති දෙපාර්තමේන්තුව දඩයම් ගුහාවක් කරගත් ඉතා ස්වල්ප දෙනෙකු ඤාණසාර හිමි දණ්ඩනයට ලක් කිරීමට සැලසුම් කොට තිබුණි.
ඤාණසාර හිමි සිර දඬුවම් විඳින්නේ පුද්ගලික ප්‍රශ්නයක් විසඳා ගැනීමට ගොස් නොවේ; යුධ හමුදා බුද්ධි අංශ රණවිරුවන් අත්අඩංගුවට ගැනීමෙන් රටේ බුද්ධි අංශය දුර්වල කිරීම සඳහා කොටි දියත් කළ වැඩපිළිවෙලට එරෙහිවය.
ඤාණසාර හිමියන් තම භූමිකාව තුළ ඉටුකළේ මහත් ජාතික මෙහෙවරක් බව අපි දනිමු. බොහෝ කයිවාරුකාර, කටින් බතල කොළ හිටවන න්‍යායේ භික්ෂුවක් ලෙස නොව රටත්, ජාතියත්, ශාසනයත් වෙනුවෙන් කැපවීම් කළ අනපේක්ෂිත, අවදානම් සහගත අත්‍යන්ත අන්තරායකාර වූ ක්‍රියාමාර්ග ගත් උන්වහන්සේ ස්වාර්ථය පසෙකලා ක්‍රියා කළ තරුණ භික්ෂුවක් ලෙස ඉතා භයානක රට ගිලගනිමින් සිටින සංක්‍රමණික, සංස්කෘතික බලවේගවලට අභියෝගයක් විය. නිල්, රතු, කොළ බොහෝ දේශපාලකයෝද, එන්.ජී.ඕ. (N.G.O.) කාරයින්ගේද, අන්‍යාගමික කල්ලිවලද පොදු සතුරා විය. උන්වහන්සේ නොමරා මැරුවේය; නින්දා අපහාස පමණක් නොව අමු අමුවේ චරිත ඝාතනය ද සිදුකරන ලදී. මේ කිසිවක් නිසා උන්වහන්සේගේ වැඩපිළිවෙල නැවැත්වීමට නොහැකි වූ තැන සිරගත කිරීමට අවශ්‍ය වටපිටාව සාදන ලදි.
මේ කරුණු අදාළ සාක්ෂි සාධක සහිත ව අනාගතයේදී හෙළිදරව් වනු ඇත. අපගේ වෑයම වන්නේ අධිකරණය නොමඟ යවා සිදුවූ වරද නිවැරදි කරන ලෙස ඉල්ලා සාමකාමීව සාධාරණත්වය ඉටු කරන්නැයි ඉල්ලීමය. අපි අධිකරණයට ගරු කරන අතර ගරු කළ යුතුය; එහි විවාදයක් නැත. එහෙත් ඕනෑම තැනක සැලසුම් සහගත ලෙස සිදුකරන ලද වැරදි, නිවැරදි කර ගැනීම වෙනුවෙන් සටන් කළ යුතුය.
ඉතා කෙටියෙන් හෝමාගම උසාවිය තුළදී සිදුවූ සංවාදය (හඬ පට ඇති) ඉහළ අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව ගොරකා දඩමස් කරන න්‍යායෙන් සිදුකර ඇති බොරු චෝදනාවන්, සත්‍ය සොයන මිනිසුන් වෙනුවෙන් මෙලෙස ඉදිරිපත් කරමු. (මෙම ගැඹුරු සිදුවීම කිසිදු පුද්ගලයෙකු දුරකථන කථනයකින් පටිගත කර ඇත):
මහේස්ත්‍රාත්වරයා: හාමුදුරුවෝ එක්කෝ පාර්ලිමේන්තුවට ගිහිල්ලා කියන්න ඕනේ මොකද බෝම්බයක් එක්ක මනුස්සයෙක් දැම්මොත් ඒ මනුස්සයට ඇප දෙන්න මට අධිකරණ බලයක් නෑ. එතකොට හාමුදුරුවෝ… ඒ වැරැද්දට අත්අඩංගුවට ගත්ත පුද්ගලයා හාමුදුරුවෝ වගේම කෑ ගහල කියනවා “අනේ මම කිසි දෙයක් කලේ නෑ.. මට ඇප දෙන්න කියලා” හාමුදුරුවනේ ඒ මනුස්සයට ඇප දෙන්න මට අධිකරණ බලයක් නෑ. මම සර්වබලධාරී දෙයෝනම් මම මීට වඩා ගොඩක් දේවල් කරනවා හාමුදුරුවනේ, මම… මට නීතිය හදලා දීලා තියෙන්නේ මෙන්න මේ බලය අනුව ක්‍රියාත්මක වෙන්න කියලා. ඊට වඩා කිසිම බලයක් මම ක්‍රියාත්මක කරන්නේ නෑ. හැබැයි මේකේ දීලා තියෙන බලය මම උපරිමයෙන් ක්‍රියාත්මක කරනවා. මේ සැකකාරයෝ සම්බන්ධයෙනුත් මට මේක ඇතුලේ ක්‍රියාත්මක කරන්න පුළුවන් උපරිමයෙන් මම ක්‍රියා කරනවා. හාමුදුරුවෝ මේ අද කරන්නේ මගේ අධිකරණ බලයට අභියෝග කරන එක නම් මම මේ උසාවියේ කටයුතු මෙතනින් නතර කරනවා.
ගලගොඩඅත්තේ ඤාණසාර හිමි: වරදක් උනානම් සමාවෙන්න ස්වාමීනි. අපි මේ හිතේ වේදනාවක් තිබෙනවා. මොකද අපිත් මේ රට වෙනුවෙන් කැක්කුමකින් වැඩ කරන උදවිය. අපි විශාල ප්‍රමාණයක් ඉන්නවා. ප්‍රස්නේ තියෙන්නේ මම දන්නේ නෑ.. දෙන දඬුවමක් දෙන්න ස්වාමීනි.. අපි අධිකරණයත් එක්ක ගැටළුවක් නෑ.. ඔබ තුමත් එක්කවත්.. නීතිය එක්කවත්..
මහේස්ත්‍රාත්වරයා: රංග දිසානායක කියන්නේ ගෙන ගෙන මිනිස්සු රීමන්ඩ් කරන කෙනෙක් නෙවෙයි. ඉතිහාසය පුරා හොයලා බලන්න.. ගේන ගේන මිනිස්සු රීමන් කරන කෙනෙක් නෙවෙයි.. ඒක නිසා.. හාමුදුරුවෝ මේ කරපු දේ අද වෙන මිනිහෙක් කරා නම්… ඒ මිනිහා සම්බන්ධයෙන් මේ විදිහට නෙවෙයි මේ උසාවිය ක්‍රියාත්මක වෙන්නේ. සාමාන්‍ය මිනිහෙක් ඇවිල්ලා උසාවියේ කතා කලා නම් මොකද්ද වෙන්නේ…
ගලගොඩඅත්තේ ඤාණසාර හිමි: නෑ ස්වාමීනි දඬුවමක් දෙන්න.. අපි කොහොමත් මේ නීතිය වෙනස් කරන්න අපි වැඩ කරනවා… මේ සුද්දෝ හදපු කළු සුද්දෝ වඩන මේ නීතිය… අපි පාර්ලිමේන්තුවට ගිහිල්ලා විසදගන්නම්.. නෑ ස්වාමීනි ඒකට දඬුවමක් දෙන්න.. වරදක්නේ කලේ.. ඒකට අවශ්‍ය ඕනෑම දඬුවමකට අපි යටත් වෙනවා. වරදක් උනානම් සමාවෙන්න. හැබැයි හිතේ වේදනාවටයි ඒක කලේ.. ඕනෑම දඬුවමකට අපි.. ඒක අපි හාමුදුරුවොයි කියලා විශේෂයක් නෑ.. හැබැයි මේ නපුංසක ආණ්ඩුවේ මේ නිලධාරීන් කරන්නේ විශාල වැරද්දක්.. ඒක කියන්න ඕනි.. තනිකර රට කොටියට පාව දෙමින් ඉන්නවා.. ඒ වෙනුවෙන් කතා කරන්න බැරිනම් මොකටද අපේ සිවුර.. ඒ වෙනුවෙන් කතා කරන්න බැරීනම් මොකටද ස්වාමීනි මේ සිවුර.. අපි අනුන්ගෙන් බත් කන්නෙ…
නඩු තීන්දුවේ චෝදනා සහ තර්ක
01. පළමු චෝදනාව
චෝදනාව: අනවසරයෙන් අධිකරණය ඇමතීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වන ව්‍යවස්ථාව යටතේ දඬුවම් ලැබිය හැකි අධිකරණයට අපහාස කිරීමේ වරද සිදු කිරීම.
තර්කය: මෙම වීඩියෝ සටහනට අනුව මහේස්ත්‍රාත්වරයා ඤාණසාර හිමිට කරුණු පැහැදිලි කරමින් සංවාදයක නිරත වී ඇත. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා තුන් හතර වතාවක් උන්වහන්සේට ප්‍රතිචාර දක්වමින් මෙලෙස අදහස් ප්‍රකාශ කිරීමට අවසර ලබා දුන් බව පැහැදිලිව පෙනී යන තත්ත්වය තුළ මෙම චෝදනාව ඔප්පු වීම විමතියකි.
දඬුවම: කෙසේ හෝ තේරුම් ගත නොහැකි ලෙස මෙම චෝදනාව ඔප්පු කොට එම වරදට බරපතල වැඩ සහිතව වසර 4 ක සිර දඬුවමක් ලබා දී ඇත.
02. දෙවන චෝදනාව
චෝදනාව: අධිකරණය විසින් දෙනු ලබන නියෝග පිළිනොගන්නා බවට හා රටේ පවත්නා නීතිය අනුගමනය නොකළ යුතු බවට ප්‍රසිද්ධ අධිකරණයේ ප්‍රකාශ කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වන ව්‍යවස්ථාව යටතේ දඬුවම් ලැබිය හැකි අධිකරණයට අපහාස කිරීමේ වරද සිදු කිරීම.
තර්කය: මෙම වීඩියෝ සටහනින් පැහැදිලිවන්නේ උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ “අපි අධිකරණයන් එක්ක ගැටළුවක් නෑ… ඔබතුමා එක්කවත්” යන්න සහ උසාවියෙන් දෙවරක් සමාව ඉල්ලා ඇති බවය. එහිදී තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ “නෑ ස්වාමීනි ඒකට දඬුවමක් දෙන්න.. වරදක්නේ කලේ.. එකට අවශ්‍ය ඕනෑම දඬුවමකට අපි යටත් වෙනවා. වරදක් උනානම් සමාවෙන්න.” ලෙසය. මෙය උසාවියට අවනත වීමක්, ගරු කිරීමක් මිස චෝදනාවේ පරිදි අධිකරණය විසින් දෙනු ලබන නියෝග පිළිනොගන්නා බවට හා රටේ පවත්නා නීතිය අනුගමනය නොකළ යුතු බව නොවේ. මහේස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තුවට යන ලෙසට උන්වහන්සේට දුන් උපදෙසට පවා උන්වහන්සේ අවනත වී “අපි කොහොමත් මේ නීතිය වෙනස් කරන්න වැඩ කරනවා.. මේ සුද්දෝ හදපු කළු සුද්දෝ වඩන මේ නීතිය… අපි පාර්ලිමේන්තුවට ගිහිල්ලා විසදගන්නම්…” ලෙස ප්‍රකාශ කොට ඇත. නීතිය වෙනස් කිරීමට වැඩ කරනවා යන්න උසාවියට කරන අපහාසයක් ද නොවේ.
දඬුවම: කෙසේ හෝ තේරුම් ගත නොහැකි ලෙස මෙම චෝදනාව ඔප්පු කොට එම වරදට බරපතල වැඩ සහිතව වසර 4 ක සිර දඬුවමක් ලබා දී ඇත.
03. තෙවන චෝදනාව
චෝදනාව: අධිකරණය ඤාණසාර හිමි පවසන පරිදි කටයුතු කලයුතු බව පවසමින් බුද්ධි නිලධාරීන් අසාධාරණව දිගින් දිගට සිරකර සිටි අංක B 7417/10 නඩුවේ සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසට අධිකරණයට අණකර සිටීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වන ව්‍යවස්ථාව යටතේ දඬුවම් ලැබිය හැකි අධිකරණයට අපහාස කිරීමේ වරද සිදු කිරීම.
තර්කය: මෙම වීඩියෝ සටහනින් පෙනී යන්නේ මෙසේ උසාවිය උන්වහන්සේ පවසන පරිදි කටයුතු කළ යුතු බව හෝ අණ දීමක් නොකළ බවය. උන්වහන්සේ හැමවිටම බැගැපත්ව මහේස්ත්‍රාත්වරයා අමතා ඇත්තේ “ස්වාමීනි” ලෙසය. දෙවරක්ම සමාව ඉල්ලා ඇත. මේ බව සමස්ත වීඩියෝ සටහනින් පැහැදිලිව පෙනී යද්දී මේ චෝදනාව ඔප්පු වීම විමතියකි.
දඬුවම: කෙසේ හෝ තේරුම් ගත නොහැකි ලෙස මෙම චෝදනාව ඔප්පු කොට එම වරදට බරපතල වැඩ සහිතව වසර 6 ක සිර දඬුවමක් ලබා දී ඇත.
04. සිව්වන චෝදනාව
චෝදනාව: ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ දිලීප පීරිස් මහතාට හිතාමතාම හා ඕනෑකමින් පරිභවත්මක වචනයෙන් ඇමතීම මඟින් එනම් “නපුංසක රාජ්‍ය නිලධාරියා” ලෙස පැවසීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වන ව්‍යවස්ථාව යටතේ දඬුවම් ලැබිය හැකි අධිකරණයට අපහාස කිරීමේ වරද සිදු කිරීම.
තර්කය: මෙම වීඩියෝ සටහනට අනුව පෙනී යන්නේ “හැබැයි, මේ නපුංසක ආණ්ඩුවේ මේ නිලධාරීන් කරන්නේ විශාල වැරද්දක්…” යන ප්‍රකාශය කළ බව මිස “නපුංසක රාජ්‍ය නිලධාරීයා” යන්න ප්‍රකාශ නොකළ බව හා කිසිම ලෙසක පරිභව කිරීමක් සිදු වී නොමැති බවය.
දඬුවම: කෙසේ හෝ තේරුම් ගත නොහැකි ලෙස මෙම චෝදනාව ඔප්පු කොට එම වරදට බරපතල වැඩ සහිතව වසර 5 ක සිර දඬුවමක් ලබා දී ඇත.
නිගමනය සහ ඉදිරි ක්‍රියාමාර්ග
වීඩියෝ සටහන මෙසේ වුවද, මෙම වැරදි හතර විවෘත අධිකරණයේ, හෝමාගම මහේස්ත්රාත්වරයාට එරෙහිව සිදුකරමින් අධිකරණයේ ආධිපත්‍යයට සහ ගරුත්වයට අභියෝග කිරීමෙන් හා අවමන් කිරීමෙන් සහ යුක්තිය පසඳලීමට අධිකරණයට ඇති බලයට අනර්ථකාරී ලෙස හැසිරීමෙන් ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වන ව්‍යවස්ථාව යටතේ දඬුවම් ලැබිය හැකි අධිකරණයට අපහාස කිරීමේ වරද සිදු කිරීම යන්න සැකයෙන් තොරව ඔප්පු කොට ඇති බව පවසමින් ඉහත දැක්වෙන ලෙස බරපතල වැඩ සහිත සිරදඬුවම් ලබා දීම විමතියකි.
අභියාචනාධිකරණයේ සභාපතිතුමා සිය නඩු තීන්දුවේදී 55 වැනි පිටුවෙහි ඤාණසාර හිමියන් සිය වරද සම්බන්ධයෙන් කණගාටු නොවීම පිළිබඳව විශේෂයෙන් සඳහන් කර ඇත (55 page, The Accused has not tendered any apology to Court either in the Magistrate Court or in this Court). මහේස්ත්‍රාත් අධිකරණයේදී හෝ අභියාචනාධිකරණයේදී හෝ සිය කණගාටුව පළ නොකිරීම සහ අභියාචනාධිකරණය තුළ සමාව නොඉල්ලීම මෙම දඬුවමට පැහැදිලිව බලපෑ බව අභියාචනාධිකරණය විසින් සැලකිල්ලට ගෙන ඇති බව ඉතාම පැහැදිලිය. එහෙත් මෙම වීඩියෝ සටහන් අනුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සිද්ධිය වූ අවස්ථාවේදීම දෙවරක් ප්‍රසිද්ධියේම සමාව ලබා ගැනීම හා එය එසේ නොවුන බව අධිකරණයේ දී සාවද්‍ය ලෙස ඔප්පු වීම කණගාටුවට කරුණකි.
අභියාචනාධිකරණය විසින් ඉහත ගොනු කළ චෝදනා අසත්‍ය බවටත්, ඒ නිසා මෙම චෝදනාවලට කණගාටුව පළ කිරීමට හෝ සමාව ඉල්ලීම පන්සිල් පද පහෙන් එකක් වන අසත්‍ය ප්‍රකාශ කිරීමක් වන බැවින් ඤාණසාර හිමි විසින් එසේ නොකළ බව සත්‍යයකි. එමෙන්ම මෙම චෝදනා අසත්‍ය බවට ඔප්පු කිරීමට අපගේ නීතිඥවරයා අපොහොසත් වූ බව ප්‍රකාශ කරමින්, පැමිණිල්ල වෙනුවෙන් විනිසුරුවරයකු, රජයේ අධිනීතිඥවරයකු, නීතිඥවරයකු හා රජයේ නිලධාරීන් දුන් සාක්ෂි සත්‍ය බවත් විත්තිය වන ඤාණසාර හිමි වෙනුවෙන් භික්ෂූන්වහන්සේලාගේ සාක්ෂි අසත්‍ය බවත් ප්‍රකාශ කොට ඤාණසාර හිමියන්ට ඉහත අසාධාරණ දඬුවම ලබා දී ඇත.
ලෝක අධිකරණ ඉතිහාසයේ උසාවියට අපහාස කළ, උසාවිය තුළ ප්රචණ්ඩව හැසිරුණු කෙනෙකුට පවා මෙවැනි දඬුවමක් දුන් බව අසා නොමැති බව ජනාධිපති නීතිඥයන් පවා අප සමඟ ප්‍රකාශ කොට තිබෙනවා. දුෂ්ට පාලනයක් ගෙන ගිය අධිරාජ්‍යවාදී පාලන යුගවලදීත් මෙවැනි දඬුවම් ලබා දී නොමැති බව මහජනයාගේ මතය වී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වන ව්‍යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව කොටස් හතරකට බෙදා එම චෝදනා සැකයෙන් තොරව ඔප්පු කොට වසර 19 ක බරපතල වැඩසහිත සිරදඬුවමක් අවුරුදු 6 කින් ගෙවී යන ලෙස ඤාණසාර හිමිට දඬුවම් ලබා දී ඇති අතර, එම චෝදනා සහ සත්‍ය වශයෙන් උසාවියේ සිදු වූ දේ (වීඩියෝ ගතව සටහන් වී ඇති කරුණු) අතර පරස්පරතාවයක් දක්නට ලැබෙන බව අපගේ විශ්වාසය වන නිසා සත්‍ය ලෙස මෙම කරුණු සංසන්දනාත්මකව හා තාර්කිකව මෙසේ ස්වභාවික යුක්ති ධර්මයේ විනිශ්චය පිණිස ඉදිරිපත් කරන්නෙමු. මෙම වීඩියෝව මගින් සටහන් කර ඇති කරුණු අනුව මෙම චෝදනා ඔප්පු විය හැක්කේ බොරු සාක්ෂි ඔප්පු වීමකින් පමණි. එයට අධිකරණයට කළ හැක්කේ පස් හෝ සත් පුද්ගල ශ්රේෂ්ඨාධිකරණයකින් සාධාරණය ඉටු කිරීම හෝ විධායකය විසින් මෙම වරද නිවැරදි කරමින් උන්වහන්සේ නිදහස් කිරීම පමණි.
ව්‍යවස්ථා, නීති අණපනත් අපයෝජනය කරමින් විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ඇතුළු ක්ෂේත්රවල සමහර පිරිස් විසින් ප්රජාතන්ත්රවාදය, යුක්තිය හා සාධාරණත්වය ප්‍රසිද්ධියේ නිත්‍යානුකූලව දූෂණය කරනු ලබන අවස්ථා දක්නට ලැබීම කණගාටුදායකය. එම දූෂණය සාධාරණීකරණය කරන සමහරුන් විසින් ක්‍රියාත්මක කරවන ජඩ මාධ්‍ය කලාව දුෂ්ට සමාජයක දේශපාලන හා අධිකරණ ක්‍රමය තුළ ජාත්‍යන්තර න්‍යාය පත්‍ර ඉටුකිරීමට ඔවුන්ගේ අරමුදල්වලට යටවූ යම් සුළු පිරිසකගේ කුමන්ත්‍රණයක් තුළින් බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි අවාසනාවන්ත ලෙස වසර 19 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දී එය වසර 6 කින් ගෙවී යන ලෙස සිරගත කිරීම පිළිබඳව බහුතරයක් මහජනතාව අසරණව කල්පනා කරන අවස්ථාවක, ජනාධිපති සමාව යටතේ හෝ උන්වහන්සේ නිදහස් කිරීම වහාම කළ යුතු බව මහජන මතය වී ඇත.
එසේ නොකිරීමට තරම් අදාළ පාර්ශ්ව දුෂ්ට වුවහොත් අපට කළ හැක්කේ මහජනාධිකරණය, සංඝාධිකරණය හා ධර්මාධිකරණයේ ආශීර්වාදයෙන්, ස්වභාවික යුක්ති ධර්මයේ පිහිටෙන් සටන් කිරීමය. එහිදී ඤාණසාර හිමි නිදහස් කර ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් සටන් කර මෙම දුෂ්ට බලවේග පරාජය කිරීමට මහා සංඝයා වහන්සේලාගේ නායකත්වයෙන් මහජනතාව වීදි බැස සටන් කිරීම අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.
ලෝකයම මානව හිමිකම් කතා කරයි; මුළු මහත් ජාතියේම අයිතිවාසිකම් ගැන නිර්භයව කතා කළ ඤාණසාර හිමි නැති කිරීම ගුණමකුවමකි. ජිනිවා නොව යා හැකි ඕනෑම තැනකට ගොස් අපේ ජාතිය ඔසවා තැබූ උන්වහන්සේ බේරාගත යුතුය.
