“ඥානසාර හිමිගේ සිවුර ගැලවූ හැටි වැරදියි” මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධයක්!
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
අධිකරණ තීන්දුවක් අනුව බන්ධනාගාරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බරපතළ විරෝධය පළ කරමින් ප්රධාන නිකායන්හි මහානායක හිමිවරුන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
2026 ඔක්තෝබර් 07 දිනැති එම ලිපිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කර ඇති අතර, ඥානසාර හිමියන්ට ගිහි වස්ත්ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළ ආකාරය තමන්ගේ “විමතියට හා දැඩි කනස්සල්ලට” හේතුවක් වී ඇති බව එහි සඳහන් කර ඇත.
මහානායක හිමිවරුන් සිව් නමකගේ අත්සන්!
අතිපූජ්ය තිබ්බටුවාවේළෙ සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා විහාරවංශික ස්යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර, මල්වතු මහා විහාරය, මහනුවර.
අතිපූජ්ය කරගොඩ උයන්ගොඩ මෛත්රී මූර්ති අභිධාන ශ්රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ස්ථවිර, ශ්රී ධම්මානන්ද විද්යායතන පිරිවෙන, මිරිස්වත්ත, බළංගොඩ.
අතිපූජ්ය වරකාගොඩ ධම්ම සිද්ධි ශ්රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහා විහාරවංශික ස්යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර, අස්ගිරි මහා විහාරය, මහනුවර.
අතිපූජ්ය මකුලෑවේ ශ්රී විමලාභිධාන ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ස්ථවිර, මිණි ඔළුව විද්යාවාස මහ පිරිවෙණ, මීරිගම.
යන මහානායක හිමිවරුන් එම ලිපියට අත්සන් තබා ඇති අතර ලිපියෙන් අවධාරණය කරන්නේ අධිකරණ තීන්දු සහ රටේ ආණ්ඩුක්රම ව්යවස්ථාවට අදාළ ක්රියාදාමයන්ට බාධා නොවිය යුතු බවට කිසිදු විවාදයක් නොමැති නමුත්, භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදිභාවය සම්බන්ධයෙන් තීරණ ගැනීම හුදෙක් රාජ්ය පරිපාලන හෝ බන්ධනාගාර රෙගුලාසිවලට සීමා වූ කාරණයක් නොවන බවයි. එය මහා සංඝරත්නයට අයත් ශාසනික කාර්යයක් බවද ලිපිය පෙන්වා දෙයි.
“ඥානසාර හිමි භික්ෂුත්වයෙන් නෙරපා නැහැ”
ලිපියේ ඉතා වැදගත් කරුණක් ලෙස සඳහන් වන්නේ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් භික්ෂුත්වය ඡේදනය වන පාරාජිකා ආපත්තියකට පත්ව ඇති බවට හෝ චීවරයෙන් නෙරපිය යුතු බවට අදාළ සංඝ සභාව විසින් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
එවැනි පසුබිමක බන්ධනාගාර පරිපාලනය විසින් උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීමට අදාළ පියවරක් ගැනීම “සමස්ත සම්බුද්ධ ශාසනයේ පැවැත්ම අභියෝගයට ලක් කිරීමට” හේතු විය හැකි බවත්, එය බෞද්ධ සම්ප්රදායට සිදුවන බලවත් හානියක් බවත් ලිපියේ සඳහන් කර ඇත.
ඒ අනුව අධිකරණයකින් වරදකරු කරනු ලබන භික්ෂුවකගේ භික්ෂුත්වයට අදාළ කාරණා සම්බන්ධයෙන් එම භික්ෂුව අයත් නිකාය හෝ පාර්ශ්වයේ නිර්දේශ සහ නියමයන් අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සුදුසු බව මහානායක හිමිවරුන්ගේ ස්ථාවරය වී තිබේ.
බන්ධනාගාර “නිත්ය නියෝග 550” ගැනත් අවධානය!
මෙහිදී බන්ධනාගාර නිත්ය නියෝග මාලාවේ 550 වැනි රෙගුලාසියද මහානායක හිමිවරුන්ගේ ලිපියෙන් උපුටා දක්වා තිබීම විශේෂත්වයකි.එහි සඳහන් වන ආකාරයට, අධිකරණයට ඉදිරිපත් කරන වරදකරුවන් බන්ධනාගාර ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් නොකළ යුතු අතර, ඒ වෙනුවට වරදකරු වීමට පෙර ඔවුන් ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට ගැළපෙන සිවිල් ඇඳුමක් ඇඳීමට ඉඩ ලබාදිය යුතු බව ලිපිය පෙන්වා දෙයි.
මේ අනුව භික්ෂුවක් සම්බන්ධයෙන් එම රෙගුලාසිය ක්රියාත්මක කිරීමේදී “වරදකරු වීමට පෙර ඇඳි ඇඳුම” යනු චීවරය මිස ගිහි ඇඳුමක් නොවන බව තම විශ්වාසය යැයි මහානායක හිමිවරු අවධාරණය කරති.
එක්සත් ජාතීන්ගේ සිරකරුවන් සම්බන්ධ රීතියකුත් මතු කරයි!
ලිපියෙන් තවත් කරුණක් ලෙස එක්සත් ජාතීන්ගේ සම්මත අවම රීති මාලාවේ 17(3) රීතිය පිළිබඳවද අවධානය යොමු කර තිබේ.මහානායක හිමිවරුන්ගේ ලිපියේ සඳහන් පරිදි, සිරකරුවෙකු බලයලත් හෝ අනුමත කටයුත්තක් සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන සෑම අවස්ථාවකදීම ඔහුට තම පෞද්ගලික ඇඳුම් හෝ වෙනත් සාමාන්ය ඇඳුම් ඇඳීමට අවසර ලබාදිය යුතු බව එම රීතියේ අදහසයි.
ඒ අනුව අධිකරණ තීන්දුවට හෝ බන්ධනාගාර නීතිවලට බාධාවක් නොවන ආකාරයෙන් ඥානසාර හිමියන් බන්ධනාගාරයේ රඳවා සිටින කාලය තුළ උන්වහන්සේගේ භික්ෂුත්වයට අගතියක් නොවන පරිදි කටයුතු කිරීමට අවකාශ සලසා දෙන ලෙස ලිපියෙන් ඉල්ලා ඇත.විශේෂයෙන්ම ඉදිරි අධිකරණ කටයුතු සඳහා උන්වහන්සේ ඉදිරිපත් කරන අවස්ථාවලදී අඛණ්ඩව භික්ෂුභාවයෙන්, එනම් චීවරධාරීව පෙනී සිටීමට අවශ්ය පරිපාලන පහසුකම් සලසා දීම සුදුසු බව මහානායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සිහිපත් කර තිබේ.
ලිපියේ පිටපතක් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා වෙතද, දැනගැනීම සහ අවශ්ය කටයුතු සඳහා අදාළ අමාත්යාංශය වෙතද යොමු කර තිබේ.
මෙම ලිපියෙන් මතුවන මූලික තර්කය වන්නේ ඥානසාර හිමියන්ට අධිකරණයෙන් නියම කළ දඬුවම ක්රියාත්මක කිරීම සහ උන්වහන්සේගේ භික්ෂුභාවය පිළිබඳ ශාසනික තත්ත්වය යනු වෙන වෙනම සැලකිය යුතු කාරණා දෙකක් බවයි. ලිපිය අධිකරණ තීන්දුවට විරුද්ධ වීමකට වඩා, දඬුවම ක්රියාත්මක කරන ආකාරයේදී භික්ෂුවකගේ චීවරය සහ ශාසනික තත්ත්වය සම්බන්ධයෙන් සංඝ සම්ප්රදාය හා අදාළ බන්ධනාගාර නියෝග සැලකිල්ලට ගත යුතු බවට කරන ඉල්ලීමක් ලෙස ඉදිරිපත් වී තිබේ.

